Saturday, May 17, 2014

කොළඹ නගරබද දුම්රිය සේවය

දුම්රිය සේවය පිළිබඳව දිනමිණ පුවත්පත වාර්තා කර තිබූ අයුරු
ඔරුගොඩවත්තේ සිට කොළඹ වරායේ ඊසාන දිග දියකඩනය දක්වා දුම්රිය මාර්ගයක් ඉදිවන්නේ 1923 වර්ෂයේ දී ය. මුතුවැල්ල දුම්රිය මාර්ගය ලෙස හැඳින්වූ මේ දුම්රිය මාර්ගයෙහි 1927-29 කාලයේ දී රේල් කාර් සේවාවක් ක්‍රියාත්මක වී තිබේ. ඉන් අනතුරුව දශක පහක් පමණ යනතෙක්ම මේ දුම්රිය මාර්ගය භාවිතා කරන ලද්දේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ය.
1977 දී බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් යළිත් මේ දුම්රිය මාර්ගයේ මගී දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කළේය. ඒ 1979 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී ය. මෙය සිදුකලේ දේශපාලන අවශ්‍යතාවයක් මත බව බොහෝ දෙනාගේ මතයයි. 1979 වර්ෂයේ මැයි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දය ඉලක්ක කොට මෙම දුම්රිය සේවාව ඇරඹූ බව ප්‍රසිද්ධ රහසකි.
1923 දී මේ දුම්රිය මාර්ගය මුලින්ම ඉදිකරනු ලබන්නේ කොළඹ වරායේ වැඩිදුර සංවර්ධන කටයුතු වෙනුවෙනි. වර්තමාන කොළඹ කොටුව දුම්රිය ස්ථානයට නුදුරුව මහලේකම් කාර්යාලය දුම්රිය නැවතුම්පල අසලින් බෙදීගොස් පැරණි පාර්ලිමේන්තුව පිහිටි භූමිය හරහා කොළඹ වරාය දක්වා ඉදිකර තිබූ මුල්ම දුම්රිය මාර්ගය මේ වනවිට (1923) ගලවා ඉවත්කර තිබුණු අතර දුම්රිය ඔස්සේ කොළඹ වරාය වෙත සිදුකෙරුණ භාණ්ඩ හුවමාරුව මුලුමනින්ම සිදුකෙරුණේ මුතුවැල්ල දුම්රිය මාර්ගය හරහා ය. මෙම දුම්රිය මාර්ගයේ ඔරුගොඩවත්ත සිට බ්ලූමැන්ඩල් දුම්රිය ස්ථානය දක්වා කොටස ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත්වූ අතර එතැන් සිට කොළඹ වරාය දක්වා දුම්රිය මාර්ග කොටස අයත්වූයේ කොළඹ වරාය කොමිෂන් සභාවට ය (අදටද මෙම සීමාව එසේම වලංගුව පවතී ). එබැවින් මෙම දුම්රිය මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම සඳහා ආයතන දෙකෙහිම සහභාගීත්වය සහ අන්‍යොන්‍ය සහයෝගීතාවය අත්‍යවශ්‍ය කරුණක් විය.
ඡන්දය ඉලක්ක කොටගෙන සිදුකරනු ලැබූ ව්‍යාපෘතියක් වූ බැවින් මෙම කටයුත්ත ඉතා කඩිමුඩියේ සැළසුම්කොට ක්‍රියාත්මක කරවූවක් විය. දින තුනක් වැනි ඉතා කෙටි කාලයක් තුලදී දුම්රිය නැවතුම් වේදිකා ආදියද ඉදිකෙරුණු බව සඳහන් වේ. මේ සඳහා කොළඹ වරාය සේවයකන්ගෙන් මෙන්ම ලංකා දුම්රිය සේවකයන්ගෙන්ද අතිමහත් දායකත්වයක් මේ සඳහා සැපයී ඇත. දුම්රියසේවය මගින් ඉලක්ක කරන ලද්දේ උතුරු කොළඹ (ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය වැනි ) ප්‍රදේශවල සිට මරදාන දක්වා දිනපතා කාර්යාල සේවයට පැමිණෙන්නන් සහ කොළඹ වරායේ සේවය කරන සේවකයන්ය. මේ කාලය වනවිට වරාය සේවකයන් බොහෝදෙනෙක් ග්‍රෑන්ඩ්පාස් , බ්ලූමැන්ඩල් ප්‍රදේශවල ඉදිකර තිබූ වරායට අයත් නිල නිවාස වල පදිංචිව සිටියහ.

පුවත්පත්වල පලවූ කාල සටහන සහ මාර්ග සිතියම

දුම්රිය සේවාව 1979 අප්‍රේල් මස 11 වනදා සිට ඇරඹිනි. එය ආරම්භ කරන ලද්දේ කොළඹ මරදාන දුම්රිය ස්ථානයෙනි.
මාලිගාවත්ත (වර්තමාන දෙමටගොඩ දුම්රිය ස්ථානය පිහිටි තැන), ඔරුගොඩවත්ත,කැළණිතිස්ස, තොටලඟ,බ්ලූමැන්ඩල්,අලුත්මාවත, වෝකර්ස් ගේට්, පිටකොටුව (කොළඹ නැව්තොට) යන දුම්රිය නැවතුම්පලවල් 07ක් මෙම මාර්ගයේ ඉදිකොට තිබුණි. ඒ හා සමගම ඔරුගොඩවත්තේ සිට කොළොන්නාව දක්වා ඇති දුම්රිය මාර්ගයේද මීතොටමුල්ල සහ කොළොන්නාව (තෙල් සංස්ථාව අසල) යන ස්ථානවල තවත් දුම්රිය නැවතුම්පලවල් දෙකක් ඉදිකර තිබුණි.

පිටකොටුවේ ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපිට කොළඹ නැව්තොට දුම්රිය ස්ථානය සහ වේදිකාව ඉදිවෙමින්
කොළම නැව්තොට දුම්රිය ස්ථානය තුල ඇති සමරුපලකය

කෙසේ වෙතත් මෙම දුම්රිය සේවාව ඇරඹූ දින පටන්ම පාඩු ලැබූ බව සඳහන් වේ. දුම්රියෙන් ලැබුණ ආදායම එයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට තරම්වත් ප්‍රමාණවත් නොවූ බව සඳහන්ය.
කෙසේ වෙතත් එම වසරේ මැයි මාසයේ පැවැත්වූ සංවර්ධන සභා ජන්දයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ලැබූ අතර  නොබෝ කලකින් මේ දුම්රිය සේවාවට නැවතීමේ තිත තැබුණි.

කොළඹ නැව්තොට දුම්රිය ස්ථානයේ වර්තමාන තත්වය

මෙම දුම්රිය සේවාව වෙනුවෙන් එදා දින තුනක් වැනි කෙටිකාලයක් තුල ඉදිකරනු ලැබූ දුම්රිය නැවතුම්පලවල නටඹුන් දුම්රිය මාර්ගය දෙපස අදද දක්නට තිබේ. ඒවා බොහෝමයක කොටස් සොරුන් ගලවාගෙන ගොස් ඇති අතර වල්බිහිවී ඇත. කොළඹ පිටකොටුවේ ඛාන් ඔරලෝසු කණු ව අසල සෑදූ කොළඹ නැව්තොට දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ල පමණක් අදටත් තරමක් හොද තත්වයෙන් තිබෙනු දැකගත හැකිය.


පාඨකයන්ගෙන් කරනු ලබන කාරුණික ඉල්ලීමයි.
මෙම පිටුවෙහි අන්තර්ගත ‍සිදුවීමට අදාල වැඩිදුර තොරතුරු ඔබ සතුව ඇත්නම් සහ ඔබගේ අදහස් දැක්වීම් Comments හරහා පල කරනමෙන් ඉල්ලා සිටිමි.
 

(මෙරට දුම්රියේ ඉතිහාසයට සම්බන්ධ ඇතැම් සිද්ධීන් පිළිබදව තොරතුරු ගවේෂණය කිරීම සදහා ඉතා විශාල කාලයක් සහ වෙහෙසක් දැරීමට සිදුවේ. මෙම පිටුවෙහි පලකර ඇති තොරතුරු  පුවත්පත් සගරා ඇතුලු මාධ්‍ය සදහා උපුටාගැනීමේ දී  ඒ පිළිබදව යම් දැනුවත් කිරීමක් හෝ සිදුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. )

Wednesday, May 14, 2014

විහාර මහා දේවී උද්‍යානයේ පුංචි කෝච්චිය ධාවනය අැරඹුන හැටි



අදින් දශක තුන හමාරකට පමණ පෙර එක්තරා දිනයක සන්ධ්‍යාවේ කොළඹ විහාර මහා දේවී  උද්‍යානය අපූරු කටයුත්තක සමාරම්භය වෙනුවෙන් සූදානම් කොට තිබුණි. මුල්ම වරට ලංකාවේ උද්‍යානයක් තුල විනෝදාස්වාදය සපයන දුම්රියක් ධාවනයට එක් කිරීම එම අපූර්ව කටයුත්තයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් 1978 වසරේ දී සිදුවූ මේ සිදුවීම දුම්රිය ඉතිහාසය තුල එතරම් ප්‍රකට නොවූ කරුණකි.  

උද්‍යානය තුල මේ දුම්රිය ධාවනය කිරීමේ සමාරම්භක උත්සවය සිදුවන්නේ 1978 අප්‍රේල් මස 26 වන අඟහරුවාදා දිනයේ සන්ධ්‍යාවේ දීය.


1865 වර්ෂය තරම් ඈතට දිවයන දීර්ඝ ඉතිහාසයක් සහිත විහාර මහා දේවී  උද්‍යානය අතීතයේ දී හඳුන්වා ඇත්තේ සර්ක්‍යුලර් පාර්ක්  ලෙසටය. එය එවකට අක්කර සියයක් පමණ ප්‍රදේශයක පැතිරුනු  ඉතා මනරම් භූමි භාගයකි.  1887 වර්ෂයේ දී එවකට බ්‍රිතාන්‍ය කිරුළ දැරූ වික්ටෝරියා රැජන ගේ නාමයෙන් හඳුන්වන්නට යෙදුන මේ උද්‍යානය, දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේ දී යුධ කඳවුරක් ලෙසටද භාවිතයට ගැනුනි. යුද්ධය අවසන් වීමෙන් අනතුරුව එය නැවත කොළඹ නගර සභාව වෙත පවරා දෙනු ලැබූවේ 1951 වර්ෂයේ දී ය. ඉන් වසර හතකට පසුව 1958  දී විහාර මහා දේවී ගුණානුස්මරණ කමිටුවේ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම උද්‍යානය විහාර මහාදේවී උද්‍යානය ලෙස නම් කරනු ලැබීය.


කොළඹ විහාර මහා දේවී උද්‍යානය තුල දුම්රියක් ධාවනය කිරීමට ‍විශේෂ හේතුවක් වූයේ විවේකය හෝ විනෝදාශ්වාදය උදෙසා උද්‍යානයට පැමිණෙන්නන් වෙනුවෙනි. විශේෂයෙන්ම උද්‍යානයේ කෙළිදෙලෙන් ගත කිරීමට යනෙන කුඩා දරුවන් වෙනුවෙනි. එවකට ලංකාවේ ප්‍රධානම පුරවැසියන් දෙපල වූ ජනාධිපති ජේ ආර් ජයවර්ධන සහ අග්‍රාමාත්‍ය ආර් ප්‍රේමදාස  ‍හිටපු ජනාධිපති  විලියම් ගොපල්ලව සහ තවත් සම්භාවනීය අමුත්තනරැසකගේද ප්‍රධානත්වයෙන් එදා මේ දුම්රිය මහත් උත්සවාකාරයෙන් විවෘත විය.




කැලණිවැලි දුම්රිය මාර්ගයේ  භාවිතය සඳහා හොදාගත් එංගලන්තයේ නිෂ්පාදිත හන්ස්ලට් වර්ගයේ (Class P1 527) කුඩා දුම්රිය එන්ජිමක් සහ කැලණිවැලි දුම්රිය මාර්ගයේ භාවිතා කරන ලද දුම්රිය මැදිරි දෙකක්  මේ ස්ඳහා යොදා ගැනුනි. කුඩා දුම්රිය මැදිරි දෙකම කොළ පැහැයෙන් වර්ණගන්වා සිඟිත්තන්ගේ සිත් ඇදගන්නා අයුරින් සුරතල් සතුන්ගේ රූප ආදියද එහි පිට පැත්තේ සිතුවම් කර තිබුණි.




සැතපුම් තුන් කාලකට ආසන්න දුම්රිය මාර්ගයක්  ද එහි දෙකෙලවර කුඩා වේදිකා දෙකක් සහ දුම්රිය ස්ථාන දෙකක් ද ඉදිකරන ලද අතර දුම්රිය සංඥා ආදියද මෙහි ඇතුලත් විය. දුම්රිය ධාවනය ඇරඹූ වේදිකාව පිහිටියේ කොළඹ නගර සභාව ඉදිරිපසට මුහුණ ලාය. එය "මරදාන" නම් වූ අතර දුම්රිය මාර්ගයේ අනෙක් කෙළවරෙහි වූ වේදිකාව "කෝට්ටේ පාර" නම් විය. දුම්රිය සමාරම්භක දිනයේ දී මරදාන දුම්රිය පලේ ස්ථානාධිපතිවරයා වූයේ කොළඹ මහ නගර සභාවේ විශේෂ කොමසාරිස් වරයා වන බී ඒ ජයසිංහ මහතාය.
කොළඹ මහනගර සභාව ඉදිරිපිට තිබූ වේදිකාව සහ කුඩා දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල. මෙය මේ දුම්රිය ආරම්භකල  යුගයේ "මරදාන" ලෙස හැදින්වූ අතර පසු කාලීනව "පුරහල" ලෙස වෙනස්කර තිබුණි


විචිත්‍රවත් අයුරින් ආලෝක කරනය කර තිබූ විහාර මහාදේවී උද්‍යානය වෙත අප්‍රේල් 26 වන දා සන්ධ්‍යාවේ දී ජේ ආර් ඇතුලු අමුත්තන් පිවිසුනේ උද්‍යානය තුල මේ උදාවන විශේෂ සිදුවීම දැක බලා ගැනීම සදහා රැස් කකා සිටි ලොකු කුඩා නගරවැසියන් සිය ගනනක ගේ අත්පොලසන් සහ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය.
"මරදාන" දුම්රිය පලේ ටිකට් පත් කවුලුව වෙත එබී ටිකට් පත ගත් ජනාධිපති ජේ ආර් ජයවර්ධන, කෝ සල්ලි ගන්නේ නැද්දැයි සිනාසී බී ඒ ජයසිංහ මහතාගෙන් විමසා නියමිත ගාස්තුව ගෙව්වේය. අගමැති ප්‍රේමදාස මහතාද මුදල් ගෙවා තමාටත් තමා හා පැමිණි සෙසු අයටත් ටිකට් ගත්තේය.
ජනාධිපතිවරයා යතුර පිළිගෙන දුම්රිය මැදිරියක දොර හැර පළමුවෙන් අසුන්ගත් පසු සෙසු සියල්ලන්ටද අසුන්ගැනීමට ඉඩ ලැබුණි. පොඩිත්තන්ගේ කෙළිලොල් සිනා හඬ මධ්‍යයේ පුංචි කෝච්චිය පිටත් වීමට පෙර  හූ හඬ නැංවූයේ එදා රට කරවූ ලොක්කන්ගේ බොළඳ වැඩ ගැනත් හිතලා වන්නට පුලුවන.

 
විහාරමහාදේවී උද්‍යානයේ පුංචි කෝච්චිය ධාවනය වීම  1999 වර්ෂය පමණ වනවිට (දිනය සහ වසර සනාථකරගෙන නැත) අභාවයට ගිය අතර දුම්රිය එන්ජිමෙහි කොටස් සහ මැදිරිවල කොටස්  ‍කාලයත් සමග සොරුගලවාගෙන යමින් තිබුණි. 2013 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වූ CHOGHM සමුලුව සඳහා කොළඹ නගරයේ බොහෝ තැන් මෙන්ම විහාර මහාදේවී උද්‍යානයද නවීකරණය කරන ලද අතර එහිදී උද්‍යානය තුල කාලයක් තිස්සේ අතහැර දමා තිබූ දුම්රිය සහ අවශේෂ කොටස් මෙන්ම දුම්රිය මාර්ගය වේදිකා කොටස් සහ සංඥා කණු ආදියද ගලවා ඉවත් කරන ලදී.


 
පාඨකයන්ගෙන් කරනු ලබන කාරුණික ඉල්ලීමයි.
මෙම පිටුවෙහි අන්තර්ගත ‍සිදුවීමට අදාල වැඩිදුර තොරතුරු ඔබ සතුව ඇත්නම් සහ ඔබගේ අදහස් දැක්වීම් Comments හරහා පල කරනමෙන් ඉල්ලා සිටිමි.
 

(මෙරට දුම්රියේ ඉතිහාසයට සම්බන්ධ ඇතැම් සිද්ධීන් පිළිබදව තොරතුරු ගවේෂණය කිරීම සදහා ඉතා විශාල කාලයක් සහ වෙහෙසක් දැරීමට සිදුවේ. මෙම පිටුවෙහි පලකර ඇති තොරතුරු  පුවත්පත් සගරා ඇතුලු මාධ්‍ය සදහා උපුටාගැනීමේ දී  ඒ පිළිබදව යම් දැනුවත් කිරීමක් හෝ සිදුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. )