Saturday, September 21, 2019

වේයන්‍‍ගොඩ ආහාර ගබඩා දුම්රිය මග



පහුගිය 2019 සැප්තැම්බර් 13 වෙනිදා  මට ඉඩක් ලැබුණා වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ තිබුණ අද දකින්නට නොමැති අතීත කෙටි දුම්රිය මගක තොරතුරු හොයාගන යන්න. මේ සදහා උදව් කලේ .. අවශ්‍ය සම්බන්ධීකරණය ගොඩනැගුවේ.. සහ ප්‍රවාහන පහසුකම් සැපයුෙවේ අපේ වේයන්ගොඩ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති කීර්ති ප්‍රේමලාල් දිසානායක මහතා. ඒ විතරක් නෙවෙයි කීර්ති අයියත් මාත් එක්ක මේ ගමන ගියා. වේයන්ගොඩ දුම්රිය ස්ථානය පහුකරලා පල්ලෙවෙල පැත්තට පොඩි දුරක් යනකොට වම් අත පැත්තට (අද ගුවන්පාලම තියනතැනින්) හැරිල ඉදිකරල තිබුණ මේ අතීත දුම්රිය මාර්ගය ඉතිහාසයේ විවිධ කාලවල naval yard line නැත්නම් food department line විදියට හදුන්වල තියනව. මේ ඒ දුම්රිය මාර්ගයේ ඉතිහාසය ගැන සහ අද දකින්න තියන නටඹුන්ගැන පොඩි ගවේෂනයක කතාවක්..

පැරණි දුම්රිය සිතියමක වේයන්ගොඩ ආහාර ගබඩා මාර්ගය දැක්වෙන අයුරු

‍වේයන්ගොඩ ලොකු වැදගත්කමක් සහ ඉතිහාසයක් තියන නගරයක්.. ඒක මේ වෙගේ කෙටි සටහනකින් කියල ඉවරකරන්න පුලුවන් කතාවක් නෙවෙයි. ලංකාවෙ දුම්රිය ඉතිහාසය සැළකුවොත් වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් තමයි ලංකාවෙ මුල්ම දුම්රිය ගමනට සහභාගීවුනු ආරාධිත අමුත්තන් පිරිස දුම්රියට ගොඩවුනේ.
‍‍දෙවන ලෝක යුද්ධය ආරම්භ වුනු කාලයේ 1939 දි විතර බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව විසින් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ අක්කර දෙසීයක විතර ලොකු ඉඩමක ආහාර ගබඩා සංකීරණයක් ඉදිකරල තියනව. මේ ආහාර ගබඩා සංකීරණයට ආහාර ද්‍රව්‍ය කොළඹ ඉදන් රැගෙන එන්න දුම්රිය මගක් ඉදිකරල තිබිල තියනව. Veynagoda naval yard siding line විදියට මේ දුම්රිය මාර්ගය පැරණි දුම්රිය සිතියම් වල දැකගන්න පුලුවන්. දෙවන ලෝක යුද්ධ කාලයේ ආහාර වලට අමතරව යුධෝපකරණ සහ ගුවන්යානා අමතරකොටස් පවා මේ ගබඩා සංකීරණයේ රහසිගතව ගබඩාකරල තිබුණ කියල ප්‍රදේශවාසීන් කියනව. දෙවනි ‍‍ලෝක යුද්ධයෙන් පස්සෙ ලංකාවට නිදහස ලැබුණයිනුත් පස්සෙ කාලෙක මේ ගබඩා සංකීරණය ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයති වෙලා තියනව. වර්ග අඩි 6000 -33000 අතරෙ සුවිශාල ගබඩා 15ක් පමණ මේ ගබඩා සංකීරණය ඇතුලෙ තිබිල තියනව. දුම්රියෙන් තමයි මේ සියලු ද්‍රව්‍ය මෙතෙන්ට ගෙනැවිත් තියෙන්නෙ.
අන්තිමට මෙතෙන්ට දුම්රිය ආවේ ගියේ කොයි කාලෙද කියන්න නිශ්චිතව මතක කෙනෙක් කීර්ති අයියගෙත් මගෙත් කෙටි චාරිකාව අතරෙදි අපට හොයාගන්න ලැබුණෙ නැහැ. නමුත් 1990 දශකයේ මුල් කාලය වෙනකම් වත් මෙතෙන්ට දුම්රියෙන් ආහාර ද්‍රව්‍ය ගෙන ආ බවට තොරතුරු තිබෙනවා.
අද මේ භූමියේ තිබෙන සමහර පරණ ගොඩනැගිලි නවීකරණය කරල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, ආර්ථික මධ්‍යස්ථානයක්,සහ පුද්ගලික අංශයට බදු දී ඇති ගබඩා ආදිය විදියට පරිහරණය කරනව. ප්‍රධාන දුම්රිය මාර්ගයෙන් හැරිලා ආහාර ගබඩා සංකීරණයට ගිය දුම්රිය මගේ ඉතිරිවෙලා තියන පීලි තාමත් වේයන්ගොඩ ගුවන් පාලම යට දැකගන්න පුලුවන්.
වේයන්ගොඩ-කීනවල මාර්ගයේ ගුවන් පාලම යට  ඉතිරිව ඇති රේල් පීලි

 ඒ හැරුණම ආහාර ගබඩා සංකීරණ භූමියේ එකම තැනක විතරක් පැරණි දුම්රිය මාර්ගයක අඩි 10-12 ක විතර කොටසක් තාමත් ඉතුරු වෙලා තියනව. අනික් දුම්රිය මාර්ග සියල්ලම ගලවා ඉවත් කරල. ඉස්සර ඉදන්ම මේ තැන ගැන දන්න දැකල තිබුණ අය කියපු විදියට මම උත්සාහ කලා ගූගල් සතියම මත අතීතයේ මේ භූමියේ දුම්රිය මාර්ග තිබුණ විදිය පෙන්වන්න. ඒ සිතියමේ නිල් පාටින් පෙන්වන ඊතලය තියන තැන තමයි මම කලින් කියපු දුම්රිය මාර්ග කොටස ඉතුරු වෙලා තියෙන්නෙ.
කොළ පාටින් පේන්න තියෙන්නෙ වේයන්ගොඩ ස්ටේෂන් එක. රතු පාටින් පෙන්වන්නෙ ආහාර ගබඩා දුම්රිය මාර්ගය. නිල් ඊතලය තියන තැන දුම්රිය රේල් පාර තවමත් ඉතිරිව ඇත.


ගබඩා සංකීරණය තුළ රේල් පීලි ඉතිරිව ඇති තැන
මේ ගබඩා සංකීරණය අද නයි පොළොංගු ඉත්තෑවන් බහුල කැලෑවක් වෙලා. කෙනෙක් මරලා හැංගුවත් පේන්නෙ නැති තරමට ඝණව උසට වැඩුනු මානා ගාලවල් වලින් වැහිල තියෙන්නෙ. ආර්ථික මධ්‍යස්ථානය තිබෙන ඉඩකඩ සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය තිබෙන ඉඩකඩ හැර සෙසු ප්‍රදේශවලට පිටස්තර අයට ඇතුල්වීමට අවසර නැහැ. ඒ ඇතුල්වීමට අවසර නැති පෙදෙසේ අක්කර ගනනාවක විශාල ජලාශයකුත් තියනව කියල දැනගන්න ලැබුණ.

1 comment:

  1. අදමයි මේ ගැන දැනගත්තේ මම

    ReplyDelete

කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ගල්කිස්සේ වැලි සයිඩිම - Sand Siding, Mount Lavinia

ගල්කිස්ස වෙරළ තීරය ගැන මෑතක වැඩි වශයෙන් කතාබහක් ඇතිවුනේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෘතීමව වැලි පිරවීමෙන් වෙරළ තීරය පුළුල් කිරීමේ ව්‍...