Saturday, September 21, 2019

කොළඹ කසල දුම්රියෙන් පුත්තලමට ගෙනයන හැටි...

‍මේ දවස්වල කුණු වෙන ප්‍රශ්ණයක් තමයි කොළඹ කුණු ප්‍රශ්ණය. පුවත්පත් ඇතුලු ජනමාධ්‍ය බොහෝමයක පහුගිය දවස්වල මේ කුණු ප්‍රශ්ණය ගැන කතාවුනා. දැනට කොළඹ එක්රැස් වෙන කුණු කසළ මේ වෙනකොට දිනපතා ලොරි වලින් පුත්තලමට එහා තියන අරුවක්කාලු වෙත ගෙන යනව. ලොරි වලින් මේ වැඩේ කරන එක වියදම් අධික වගේම වෙහෙසකර කටයුත්තක්. ඒ නිසා මේ ව්‍යාපෘතිය සැලසුම් කරපු මුල් අවස්ථාවෙම මේකෙ ප්‍රවාහන කටයුත්තට දුම්රිය දායක කරගන්න විදිටය තමයි සැලසුම් හදල තියෙන්නෙ. තාම දුම්රියෙන් කුණුගෙනයන්න අදාල ඉදිකිරීම් සහ නව ස්ථාපනය කිරීම් කටයුතු නිමාවෙලා නැති නිසා (මේ ලියන මොහොතෙ ඉදන් = 2019 අගෝස්තු) තව මාස හත අටක් මේ විදියට ලොරි වලින් කුණු කසළ ගෙන යන්න වේවි. ඉන් පස්සේ ඒ කාර්යය දුම්රිය විසින් සිදුකරනු ලබනව.
අරුවක්කාලු කසල රැදවුම ඉදිකරන අන්දම

‍මේ කටයුත්ත සිදුකරන්න සැළසුම් කරල තියෙන්නෙ කොහොමද කියල හොයල බලන එක වටිනවා..
මේ කසළ රැදවුම් වෙත බැහැර කරන ව්‍යාපෘතිය වෙනුවෙන් කොළඹ අන්තයේ පැටවුම් ස්ථානය ඉදිවෙන්නෙ වනවාසල දුම්රිය ස්ථානය ආසන්නයේ. වනවාසල දුම්රිය ස්ථානයෙ ඉදන් කැලණිය දුම්රිය ස්ථානය පැත්තට මීටර් එකසිය පනහක් දෙසීයක් එද්දි මේ යෝජිත ස්ථානය හමුවෙනව. මේ තැනින් දුම්රියේ යන එන කෙනෙක්නම් ඔබට දැනටමත් මේ පැටවුම් අංගණයේ ඉදිකිරීම් සිදුකරගන යනවා දැකගන්න පුලුවන්. ඊලගට ප්‍රධාන දුම්රිය මාර්ගයෙ ඉදන් මේ පැටවුම් අංගණයට අතුරු දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට නියමිතයි.

කැලණිය වනවාසල කසල පැටවුම් අංගනය සම්බන්ධිත දුම්රිය මග

 මේ දුම්රිය මාර්ගය කසල පැටවුම් අංගණය ඇතුලෙදි මාර්ග දෙකක් විදියට ඉදිකරන්න සැලසුම් කරල තියෙනව. ඒ එකක් අඩි 50ක් පමණ දිග දුම්රිය එන්ජින් දෙකක් සහ අඩි 40ක් දිග දුම්රිය වැගන් 13ක් සහිත දුම්රිය දෙකක් එකවර නවතන්න පුලුවන් විදියට. S14 දුම්රිය බලවේග කට්ටල වල භාවිතා කරන දුම්රිය එන්ජින් වලට සමාන දුම්රිය එන්ජින් දෙකක් දෙපසට තියනෙ විදියටත් ඒ මැද අඩි 40 කන්ටේනර් ප්ලැට්ස් 13ක් අමුණලා ගෙනයන්න පුලුවන් විදියටත් තමයි මේ දුම්රියේ සැකැස්ම යෝජනා වෙලා තියෙන්නෙ.
කසල රැගෙන යන්න චීනයේ නිපදවෙන බලවේග දුම්රිය එන්ජින්
(ඡායාරූපය ජගත් රාමවික්‍රම මහතා)


දුම්රිය මෙහෙයුම් කටයුතු වල⁣ට ඒ ක්‍රමය පහසුයි.එන්ජින් ගලවන්න,නැවත අමුණන්න,කරකවන්න ඕන වෙන්නෙ නැහැ. ඒවට යන කාලය සහ ශ්‍රමය ඉතුරුයි. හදිසියෙ එක එන්ජිමක ආපදා තත්වයකදි උනත් ලගම තියන දුම්රිය ස්ථානයකට දුම්රිය ගෙනියන්න පහසුයි. මේ එක කන්ටේනර් ප්ලැට් එකකට අඩි 20 කන්ටේනර් 02ක් ගානෙ මුලු දුම්රියටම කන්ටේනර් 26ක් මේ අංගණයෙන් පටවනව. එක කන්ටේනරයක ජලය ඉවත්කර තෙරපුම්කළ කසල ටොන් 23 ක් දාන්න පුලුවන් කියල ගනන් බලල තියනව. ඒ වගේ කන්ටේනර් 26ක් කියන්නෙ එක දුම්රියක කසල ටොන් 600කට ආසන්න ප්‍රමාණයක් ගෙනියන්න පුලුවන්.
දුම්රිය මාර්ගයේ ධාවනය වන කන්ටේනර් ෆ්ලැට්ස් වල කන්ටේනර් ගෙනියන විදිය


වනවාසලින් පටන්ගන්න මේ දුම්රිය ප්‍රධාන දුම්රිය මාර්ග‍‍යේ රාගමටත් එතන ඉදන් මීගමුව හලාවත පුත්තලම හරහා අරුවක්කාලු වෙතටත් ගෙන යනවා. සම්පූර්ණ දුර කිලෝමීටර් 170ක් විතර.අරුවක්කාලු වලදි සියාම් සිටි (පුත්තලම) සිමෙන්ති සමාගමේ හුණුගල් පැටවුම් අංගණය ආසන්නයේ ඉදිකරන කසල කන්ටේනර් ගොඩබෑමේ අංගණයෙන් මේ කන්ටේනර් දුම්රියෙන් ඉවත් කරනව.
අරුවක්කාලු සනීපාරක්ෂක කසල රැදවුම හැදෙන තැන

ගොඩක් අය අහන දෙයක් තමයි "ඇයි ලොරිවලින් ගෙනියන කුණු දැන්  ඉඳන්ම දුම්රියේ ගෙනියන්න බැරි? " කියලා.
මේක බැලූ බැල්මට සරළ සිද්ධියක් වගේ පෙනුනත් වැඩේ පටන්ගන්න එක ඒතරම් සරළ නැහැ.
පළමු කාරනේ මේ ව්‍යාපෘතියට අදාල දුම්රිය එන්ජින් 05ක් සහ කන්ටේනර් ෆ්ලැට්ස් 28ක්,පැටවුම් බෑම් දොඹකර,කසළ තෙරපුම් යන්ත්‍ර ලංකාවට ගෙන්වලා ස්ථාපිත කරන්න ඕන. ඊලඟට දුම්රිය මෙහෙයුම් වලට අදාල අංගණවල සහ නව දුම්රිය මාර්ගවල කොටස් ඉදිකරන්න ඕන.
ඒ වගේම මේ කසළ දුම්රිය ධාවනය කරන්න නියමිත දුම්රිය මාර්ගයේ රාගම ඉඳන් පුත්තලම කොටසෙ විවිධ ගමනාන්ත වලට උදේ 4:00ත් රෑ 9:00ත් අතරෙ දිනපතා (ඉහළ හා පහළ) දුම්රිය 40ක් විතර ධාවනය වෙනව.මේවා වර්ණ සංඥා,ටැබ්ලට් සහ ටෝකන් කියන මෙහෙයුම් ක්‍රම වල⁣ට තමා ධාවනය වෙන්නෙ. ඒ වගේම පාලාවි-අරුවක්කාලු කොටසෙ පැය 24 පුරාම සියාම් සිටි සමාගමේ හුණුගල් ප්‍රවාහන දුම්රිය 14-16ක් දිනපතා ධාවනය වෙනව ටැබ්ලට් සහ ටෝකන් මෙහෙයුම් ක්‍රම වලට. යෝජිත කසළ දුම්රිය ගමන්ගත යුත්තේ දැනට ධාවනය වන මේ දුම්රිය වලට බලපෑමක් නොවෙන විදියට..එහෙම ගමන්ගන්න සංඥා සහ මෙහෙයුම් ක්‍රමවල යම් වැඩිදියුණු කිරීමක් කරන්න වේවි.
ඒ වගේම කසළ කන්ටේනර් රැගත් දුම්රිය ආපදාවකින් තොරව ගමන්කරන්න ඇක්සල් ලෝඩ් එක ටොන් 13 කට වැඩිය ඔරොත්තු දෙන විදියට මීගමුව සහ අරුවක්කාලු අතරෙ දැනට පවතින දුම්රිය මාර්ගය සහ පාලම්,බෝක්කු යනාදිය ප්‍රතිසංස්කරණය කරන්නත් සිදුවෙනව. ඒත් එක්කම සමහර දුම්රිය ස්ථානවල කියන ලූප් ලයින් ශක්තිමත් කරන්නත්,දීර්ඝ කරන්නත් වෙනව.
මේ සියල්ලට තව මාස හත අටක් යාවි..
කසල දුම්රිය බලවේග කට්ටල එන්ජින් වලින්  ගෙනයන්න තීරණය කරල තියෙන්නෙ දුම්රිය මෙහෙයුම් කටයුතු ඉක්මනින් සහ පහසුවෙන් සිදුකර ගැනීම සඳහා.

මේ සඳහා භාවිතා කිරීමට යෝජිත කන්ටේනර් ෆ්ලැට්ස්වල අපි දැනට භාව්තා කරන ඒවාට වඩා ප්‍රධාන තාක්ෂණික වෙනස්කම් දෙකක් තියනව.
පළමු වෙනස ඒවා air break සිස්ටම් එකකින් යුතු වීමයි.
දෙවන වෙනස බලවේග දුම්රිය එන්ජින් දෙක අතර අත්‍යවශ්‍ය පරිගණක දත්ත සන්නිවේදනය කළ හැකිවන පරිදි එම කටයුත්තට අදාල ඩේටා කේබල් සහ කනෙක්ටර් පෝට්ස් මෙම කන්ටේනර් ෆ්ලැට්ස් වල අන්තර්ගත වීමයි.

කසල දුම්රිය සඳහා සාමාන්‍ය දුම්රිය එන්ජින් සහ සාම්ප්‍රදායික කන්ටේනර් ෆ්ලැට්ස් යොදාගතහොත් ගමනාන්ත වලදි එන්ජින් ගැලවීම හා යලි ඇමිණීමටත්, ඒවා කරකවා පැති මාරු කිරීමටත් අනවශ්‍ය කාලයක් හා ශ්‍රමයක් වැය වෙනවා. බලවේග කට්ටල වලින් මෙම කටයුත්ත සිදුකරන විට ඒ අමතර හා අනවශ්‍ය වැඩ වලට වෙහෙසෙන්න වෙන්නෙ නැහැ.

3 comments:

  1. නලින් අයියේ ඔයා නම් නියමයි ඈ.

    හිතුවෙත් නැති වෙලාවක අලුත් post එකක් දාලා

    ReplyDelete
  2. වටිනා විස්තර කිරීමක්
    බොහෝ දෙනෙකු මෙහි නියම තත්වය නොදැන විවිධ කථා කියමින් සිටී.
    ඔබට ස්තූතියි

    ReplyDelete

කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ගල්කිස්සේ වැලි සයිඩිම - Sand Siding, Mount Lavinia

ගල්කිස්ස වෙරළ තීරය ගැන මෑතක වැඩි වශයෙන් කතාබහක් ඇතිවුනේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෘතීමව වැලි පිරවීමෙන් වෙරළ තීරය පුළුල් කිරීමේ ව්‍...