Saturday, September 21, 2019

Scammell mechanical horse ස්කැමල් යකඩ අස්ස ට්‍රැක්ටරේ.


මීට අවුරුදු හතලිහකට පනහකට කලින් අද දකින්නට නොමැති විදියේ අපූරු වාහනයක් දුම්රිය සේවය සතුව  තිබුණේ ය. මේ වාහනය scammell (ස්කැමල්) නමින් හැදින්වූ රෝද තුනේ ට්‍රැක්ටරයකි. හැඩයෙන් ත්‍රී රෝද රථයක් වගේ වුනත් මෙය ඊට වඩා බරසාර වාහනයකි.
මේවා භාවිතයට ගැනුනේ දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලා සංකිර්ණය තුල දුම්රිය එන්ජින් හා මැදිරිවල යම් යම් උපාංග සහ අමතරකොටස් එක් එක් තැන්වලට ගෙනයාමටයි.
ස්කැමල් ට්රැක්ටර් 1940-60 කාලයේ ලොව බොහෝ රටවල දුම්රිය සේවා සපයන්නන් සහ වරාය වල කටයුතු සදහා භාවිතා කරන ලද්දකි. ඒවා හදුන්වන ලද්දේ scammell mechanical horse හෙවත් ස්කැමල් යකඩ අශ්වයන් ලෙසය.අපේ රටේ දුම්රිය සේවයේ මෙන්ම කොළඹ වරායේ ද මේ ස්කැමල් රථ 80දශකය පමණ වනතෙක් භාවිතයේ තිබී ඇත. කොළඹ මහනගර සභාව සතුව ද ස්කැමල් රථ අතීතයේ තිබූ බව සදහන් වේ. ඒ අනුව මේවා මීට දශක කිහිපයකට පෙර ට්‍රැක්ටර වලින් කරනු ලබන කටයුතු සදහා භාවිතාකරන ලද වාහනයක් බව අනුමාන කළ හැකිය. මේ සටහන ලියන මා ද ස්කැමල් රථයක් සියැසින් දැක නැත.
බ්රිතාන්‍යයේ great western railway හි භාවිතා කරන ලද ස්කැමල් රථයක් සංරක්ෂණය කර ඇති අයුරු
1100cc තරමේ පෙට්රල් එන්ජිමකින් යුක්ත වූ මේ ට්‍රැක්ටරයට ටොන් තුනක් පමණ පැටවිය හැකි ට්රේලරයක් ද තිබුණ අතර පැයකට හැතැප්ම විස්සක පමණ වේගයෙන් ධාවනය කිරීමට හැකියාව තිබුණි.
- කාලයක් තිස්සේ භාවිතයෙන් පසුව අබලන් තත්වයේ ලක්ව තිබී ඇති දුම්රිය සතුව තිබූ ස්කැමල් රථ 80/90 දශකවල වෙන්දේසි කර ඇතිබව සදහන්ය.
කොළඹ වරායේ තිබූ ස්කැමල් වලට කුමක් සිදුවී ද යන්න නොදන්නා මුත් මොරටුව ප්‍රදේශයේ පැරණි වාහන සංරක්ෂණය කරන කෙනෙක් සතුව මේ අගනා වාහනයක් සුරක්ෂිතව පවතින අයුරු ෆේස්බුක් පිටුවකම දුටුවෙමි.දුම්රිය සතුවූ ස්කැමල් ට්රේලර්ස් කීපයක් රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ තවමත් භාවිතා කරන අතර දැන් ඒවා ඇදගෙන යනු ලබන්නේ සාමාන්‍ය ට්රැක්ටර් වලිනි.
රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවන ඉංජිනේරුවරුන් පිරිසක් ස්කැමල් රථයක නැගී ගමන්කරන අයුරු - 1935 අගෝස්තු

මොරටුව ප්‍රදේශයේ කෙනෙක් විසින් සංරක්ෂණය කර ඇති ස්කැමල් රථයක්

No comments:

Post a Comment

කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ගල්කිස්සේ වැලි සයිඩිම - Sand Siding, Mount Lavinia

ගල්කිස්ස වෙරළ තීරය ගැන මෑතක වැඩි වශයෙන් කතාබහක් ඇතිවුනේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෘතීමව වැලි පිරවීමෙන් වෙරළ තීරය පුළුල් කිරීමේ ව්‍...