Saturday, September 21, 2019

ලංකා තෙල් සහ මේද සංයුක්ත මණ්ඩලයේ සයිඩිම - සීදූව Ceylon Oil and Fats corporation siding - Seeduwa


පැති දුම්රිය මාර්ගයක් හෙවත් සයිඩිමක් (siding) යනු කිසියම් ප්‍රවාහනමය අවශ්‍යතාවයක් වෙනුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයකින් හැරී මීටර් කිහිපයක් හෝ සියගනනක් දුරට ඉදිකරන ලද කෙටි දුම්රිය මාර්ගයන් ය. සයිඩින් මීට කලකට ඉහත අපේ දුම්රිය මාර්ග පද්ධතිය පුරාම සුලභව දැකගන්නට හැකිවූවත් අද දක්නට ඇත්තේ සීමිත ප්‍රමාණයකි. මේවායේ දුම්රිය ධාවනය කල හැකි වේගය පැයට කිලෝමීටර් 10-20ක තරම් ඉතා අඩු අගයක් ගනී.
දුම්රිය මාර්ගයේ දුර අඩු වීම සහ දුම්රිය ධාවනය කල හැකි වේගය අඩු අගයක් ගැනීම නිසා මේවා ශාඛා දුම්රිය මාර්ග (Branch line) ලෙස හැදින්වීමක් නොකරයි. සයිඩින් බොහෝවිට දුම්රිය ස්ථානයක් ආසන්නයේ ඉදිකොට තිබී ඇත.
පුත්තලම දුම්රිය මාර්ගයේ සීදූව දුම්රිය ස්ථානයේ සිට ලංකා තෙල් සහ මේද සංයුක්ත මණ්ඩලය දක්වා අදින් දශක කිහිපයකට කලින් පැති දුම්රිය මාර්ගයක් හෙවත් සයිඩිමක් තිබුණි. 1955 වර්ෂයේ ආරම්භ කරන ලද සීදූව තෙල් සහ මේද සංයුක්ත මණ්ඩලය එකල ලංකාවේ සත්ව ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයා විය. බඩ ඉරිගු සහ සෝයා බෝංචි වැනි අමුද්‍රව්‍ය භාවිතා කරමින් එහි නිපැයූ සත්ව ආහාර ගෝනි සහිත වැගන් සීදූව දුම්රිය ස්ථානය තෙක් මේ සයිඩිම ඔස්සේ ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව සීදූව දුම්රිය ස්ථානයේ දී බඩු දුම්රිය වලට ඈදා දිවයින පුරා බෙදා හරිනු ලැබීය.

මේ සයිඩිම එදා හැදින්වූයේ සීදූව තෙල් සහ මේද සංයුක්ත මණ්ඩල සයිඩිම (Ceylon Oil and Fats Corporation Siding) ලෙසටය. එහි දුම්රිය බඩු වැගන් (බොහෝ විට CGS ගැල්) ධාවනය සදහා එවකට වරාය කොමිසම සතුව තිබූ කුඩා ප්‍රමාණයේ වාෂ්පබල දුම්රිය එන්ජිමක් පවා යොදවා තිබුණි.
1990 දශකයේ තෙල් සහ මේද සංයුක්ත මණ්ඩලය, ප්‍රීමා සමාගම යටතට පත්ව Ceylon Agro Industries Ltd ලෙස පෞද්ගලීකරණයට ලක්වූ අතර ඉන් පසුව දුම්රිය මාර්ගගත නිෂ්පාදන ප්‍රවාහනය ඇණ හිටියේය. සයිඩිමද අත්හැර දැමීමෙන් අනතුරුප පසු කලෙක දී ගලවා දමන ලදී.
ඡායාරූපයේ දැක්වෙන්නේ 60 දශකයේ දී ලංකා තෙල් සහ මේද සංයුක්ත මණ්ඩල සයිඩිමෙහි ධාවනය කරන බඩු දුම්රියකි.

No comments:

Post a Comment

කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ගල්කිස්සේ වැලි සයිඩිම - Sand Siding, Mount Lavinia

ගල්කිස්ස වෙරළ තීරය ගැන මෑතක වැඩි වශයෙන් කතාබහක් ඇතිවුනේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෘතීමව වැලි පිරවීමෙන් වෙරළ තීරය පුළුල් කිරීමේ ව්‍...