Saturday, September 21, 2019

ලංකාවෙන් ආජන්ටිනාවට රැගෙන ගිය දුම්රිය එන්ජින් දෙක


අපේ දුම්රිය සේවය වාෂ්ප දුම්රිය එන්ජිමේ සිට ඩීසල් දුම්රිය එන්ජිම දක්වා පරිවර්තනය වීමේ විප්ලවීය පියරව තැබුවේ 1934 වසරේය. මුලින්ම ලංකාවට ගෙන ආ ඩීසල් දුම්රිය එන්ජිම අද කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ දැකිය හැකිය. එය මගී ප්‍රවාහනය සදහා භාවිතා නොවූ අතර ෂන්ටින් වැඩ වලට භාවිතා වූ එන්ජිමකි. (මෙම ෂන්ටින් දුම්රිය එන්ජිම පිළිබදව දුම්රියේ අප්‍රකට විත්ති ග්‍රන්ථයේ වැඩිදුර තොරතුරු සදහන් වේ)
මේ කුඩා ඩීසල් එන්ජිම ගෙනැවිත් නොබෝ කලකින්ම මගී ප්‍රවාහන දුම්රිය සදහා යෙදීමට සුදුසු වූ විශාල ප්‍රමාණයේ ඩීසල් දුම්රිය එන්ජින් දෙකක් ලංකාවට ගෙන එනු ලැබීය. ස්කොට්ලන්තයේ ආම්ස්ට්‍රෝන්ග් විට්වර්ත් සමාගමේ නිපදවන ලද මෙම එන්ජින් කෙටි කලක් ඉන්දියානු දුම්රිය සේවයේ ද භාවිතාකර ඇත.ඒ 1935 වසරේ දීය. තනිකරම වාෂ්ප දුම්රිය පමණක් ධාවනය වූ ඒ යුගයේ ඩීසල් දුම්රිය එන්ජින් රැගෙන ඒම පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුව තුල මෙන්ම එකල රටෙහි පාලන ක්ෂේත්‍රෙය් ඉහලම තැනක් වූ රාජ්‍ය මන්ත්‍රණ සභාව තුල පවා වාද විවාද පැවතිනි.

 
ලංකාවට ගෙන ආ දුම්රිය එන්ජින් ස්කොට්ලන්තයේ දී ගත් ඡායාරූපයක්

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එසේ පැවති විවාදයක් පිළිබදව 1935 ජනවාරි 31 දිනමිණ පුවත්පත මෙසේ වාර්තා කර තිබේ...
‘ ඉක්බිති දුම්රිය දෙපාර්තමේන්තුවට ඩීසල් ඇන්ජින් යන්ත්‍ර තුනක් ගැනීම ගැන මංමාවත් හා කර්මාන්ත පිළිබද ඇමති වරාය නමින් පැවති යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. මෙහිදී පළමුකොටම රත්නපුරේ මන්ත්‍රීවරයාවන විමලසුරේන්ද්‍ර මහතා ක,ාකරමින් මෙසේ කීය. මේ ඇන්ජින් යන්ත්‍ර සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තා මෙහි සිටින මන්ත්‍රීවරුන්ගෙන් කී දෙනෙකුට අවබෝධ කරගෙන අතිදැයි මම නොදනිමි. මේ කාරණය සම්බන්ධයෙන් ලංකාණ්ඩුව වෙනුවෙන් එංගලන්තයේ සිටින ඒජන්ත මහතුන් ගෙනහැර දක්වා තිබෙන අදහස් උපදේශ ඉංජිනේරුවන්ගේ අදහස්වලට විරුද්ධය. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී මහතාගේ අදහස ඒ දෙගොල්ලන්ගේම අදහස් වලට විරුද්ධය.ඒක මතික අදහස් ප්‍රකාශකිරීමට නොහැකිවූ මේ ඇන්ජින් යන්ත්‍ර ගෙන ඒම වනාහි කොයි අන්දමින්වත් ප්‍රඥාගෝචර නොවේ.“

කෙසේ වෙතත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී දුම්රිය එන්ජින් ගෙන ඒමට පක්ෂව ඡන්ද 24ක් හා විපක්ෂව ඡන්ද 14ක් ලැබී ඇත.

අශ්වබල 800ක ශක්තියකින් යුතු වූ මෙම දුම්රිය එන්ජින් දිගු දුර ධාවනයට යෝග්‍ය වූ ඒවා විය. එම දුම්රිය එන්ජින්වල තාක්ෂණික දත්ත සමහරක් පහත දැක්වේ.

Weight in working order: 81 tons
Adhesion weight: 52.5 tons
Maximum axle load: 17.5 tons
Top speed: 70mph
Minimum curve: 5 chains
Maximum tractive effort: 28,500lb
Length: 43 ft
Height: 13 ft 6 in
Width: 9 ft 10.75 in
Total wheelbase: 30ft
Rigid wheelbase: 14ft 3in
Driving wheel diameter: 4ft
Pony truck wheel diameter: 3 ft

1935 පෙබරවාරි මාසයේ මුල් සතියේම ඉන්දියාවේ සිට මෙම ඩීසල් දුම්රිය එන්ජින් දෙක ලංකාවට රැගෙන ආ අතර 1935 පෙබරවාරි 09 වන දින සිට මාස 06ක පමණ කාලයක් ඒවා තලේමන්නාරම දක්වා සහ යාපනය දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියන් සදහා යොදා පර්යේෂණාත්මක මට්ටමේ ධාවනය කරවනු ලැබිණි.
පරීක්ෂණාත්මක කාලයේ අවසන් මාස දෙක තුල මෙම දුම්රිය එන්ජින් දෙක කාර්මික දෝෂ සහ ආපදා රැසකට ලක්වූ අතර ඒවා ලංකා දුම්රිය සේවය වෙත මිලදී නොගෙන ආපසු නිෂ්පාදිත සමාගම වෙත යැවීමට දුම්රිය බළධාරින් තීරණය කලහ. ඉන්පසු ඒවා ආජන්ටිනාවේ දුම්රිය සේවය වෙත අලෙවිකිරීම පිණිස බුවනොස් අයර්ස් වෙත රැගෙන යනු ලැබිණි
1935 පෙබරවාරියේ අඹේපුස්ස ප්‍රෙද්ශයේ දී ලබාගත්තක් වන අතර අත්හදා බැලීමේ ධාවනයක යෙදෙන 800 දරණ ඩීසල් දුම්රිය එන්ජිම සහිත දුම්රියක් මෙහි දැක්වේ.

මෙම දුම්රිය එන්ජින් දෙක ලංකාවේ ධාවනය කරන අතරතුර ඒවා අංක 800 සහ 801 වශයෙන් අංකගත කර තිබී ඇත.
ආජන්ටිනාවේ දී ලබාගත් ඡායාරූපයක් (දුම්රිය එන්ජිමේ කව්කැචර් එක වෙනස් කර ඇත)

1 comment:

  1. මේ ගැන lanka railway digest සගරාවේත් තිබ්බා මතකයි.

    දැනට අවුරුදු කීපයකට උඩදී

    ReplyDelete

කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ගල්කිස්සේ වැලි සයිඩිම - Sand Siding, Mount Lavinia

ගල්කිස්ස වෙරළ තීරය ගැන මෑතක වැඩි වශයෙන් කතාබහක් ඇතිවුනේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෘතීමව වැලි පිරවීමෙන් වෙරළ තීරය පුළුල් කිරීමේ ව්‍...